Pages

Wednesday, December 11, 2013

රථවාහන පොලිසිය ගැන ඔබ දැනගත යුතු කරුණු....






1. ඔබ පාරෙ ගමන් කරන විට, තනි පොලිස් නිලධාරියෙක්ට ඔබව නැවැත්වීමට තහනම්. එසේ නැවැත්වීමට උත්සාහ ගතහොත්, නොනවත්වා යාමට ඔබට හැකිය.

2. තනි පොලිස් නිලධාරියෙකුහට ඔබේ රියදුරු බලපත්‍රය රඳවා ගැනීමට නොහැකිය.

3. ඔබ වාහනයක ගමන් කරන විටකදී, ඔබේ ජාතික හැඳුනුම් පත හැර වෙනත් ලියකියවිලි ඉල්ලා සිටීමට අයිතිය ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණි.

4. තනි රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ඔබට දඩ ගැසීමට හෝ චෝදනා කිරීමට නොහැකිය. ඔහුට අනිවාර්යෙන්ම සාක්ෂිකරුවෙකු අවශ්‍ය වේ. සාක්ෂිකරු පොලිස් නිලධාරියෙකුම විය යුතුයි. (එබැවින් සැමවිටම පාරේ රථ වාහන පාලක පොලිස් නිලධාරින් දෙන්නෙක් එකට සිටියි)

5. පොලිස් නිලධාරියෙකු ඔබට බීමතින් රිය පැදවූ බවට චෝදනා කලහොත්, බැලූන් පරීක්ෂාව (Balloon Test) කිරීමට ඉල්ලා සිටිය හැක. ඒ අවස්ථාවේදී ඔවුන් සතුව බැලූන් නොමැති නම, ඔබට යාමට අවසර ඇත.

6. මහ මග ගමන් ගන්නා වාහනයක් නැවැත්වීමට අවසර ඇත්තේ රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) පමණයි.(ඒ බැවින් හමුදා මුරපොල (check point) වල එක පොලිස් නිලධාරියෙක් හෝ සිටිය යුතුය.)

7. පොලිස් නිලධාරියෙකුට ලිඛිත උසාවි නියෝගයක් නොමැතිව ඔබේ නිවසට හෝ රැකියා ස්ථානයට ඇතුළු විය නොහැක. ලිඛිත නියෝගය ඉල්ලා සිටීමට ඔබට සියලු අයිතිය ඇත. ඔවුන් බලෙන් ඇතුලු වීමට සැරසෙයිනම් එයට විරුද්ධ වීමට ඔබට අයිතිය ඇත.

8. ඔබ සිදුකල වැරැද්දේ ස්වභාවයත්, දණ්ඩ නීති සංග්‍රහය අනුව අදාල නීති උල්ලංගනය කිරීමත් පිලිබඳව කියන තුරු රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකුට (Traffic Police) ට ඔබේ රියදුරු බලපත්‍රය ලබාගත නොහැකිය. එසේ සඳහන් කිරීමට අපොහොසත් වන්නේ නම් ඔබට යාමට අවසර ඇත.

9.රථ වාහන පාලක පොලිස් නිලධාරියෙකු (Traffic Police) ඔබේ බලපත්‍රය බලෙන් ලබාගෙන, එය නැවත ලබා ගැනීමට පොලිස් ස්ථානයට එන ලෙස පැවසූ විටක, එලෙස නොගොස් පොලිස් අධිකාරියතුමන්ට හෝ ප්ප්‍රදේශිකයට අදාල නියෝජ්‍ය පොලිස්පතිතුමන්ට පැමිණිලි කිරීමට ඔබට අයිතිය පවතී. එවිට අදාල නිලධාරියාව, දුරාචාරය සහ නොහික්මුණු හැසිරීම යන වරද මත පදනම්ව සේවයෙන් පහ කරවීමට වුවද හැකියාව පවතී.

10. කාන්තාවකගෙන්,පොලිස් නිලධාරියෙකු නම, ලිපිනය, හැඳුනුම් පත, දුරකථන අංකය ඉල්ලා සිටී නම් ඒ ඉල්ලීම ඉටු නොකිරීමට අයිතිය ඇත (ඔහු ඔබට හිරිහැර කිරීමේ අරමුණින් සිටින බව ඔබට හැඟේ නම් පමණක්). ඔහුට ඔබව (කාන්තාව) අත් අඩංගුවට ගැනීමට නොහැක. ඔබට පොලිස් නිලධාරිනියකගේ සහය ඉල්ලා සිටීමට අයිතිය ඇත.

11.පොලිස් නිලධාරියෙකු කාන්තාවක් පරීක්ෂා කිරීමට බව පැවසූ විටක, එය පොලිස් නිලධාරිණියක ලවා කරවා ගැනීමට ඔබට (කාන්තාව) අයිතිය ඇත. පොලිස් කාන්තාවක් නොමැති නම්, ඔබට එය ප්‍රතික්ෂේප කිරීමට අයිතිය ඇත.

12. ඔබට අධික වේගයෙන් වාහනය පැදවීමේ වරදට දඩ ගැසීමට හෝ නඩු දැමීමට සැරසෙයි නම් ඊට ප්‍රථම වාහනයේ වේගය මනින ලද මීටරයේ වේගය සටහන් වී ඇති අයුරු තමාට පෙන්වන ලෙස ඉල්ලා සිටීමට අයිතිය ඇත. (බොහොමයක් පොලිසිවල පවතින වේග මීටර අක්‍රිය අතර ඔවුන් හුදෙක් මීටරය දිගුකර අනුමානයෙන් වරදකරුවන් අසුකරගනී)

13. ඔබ කිසියම් කරුණක් මත අත් අඩංගුවට පත්ව සිටිනම් පොලිසියට ප්‍රකාශ ඉදිරිපත් කිරීමට ප්‍රථම නීතිඥයෙකුගේ උපදෙස් ලබාගැනීමට ඔබට අයිතියක් පවතී. එනිසා එවැනි අවස්ථාවල ඔබට නීතිඥයෙකු ඉල්ලා සිටීය හැකිය.

ඔබට නීතිමය කරුණක් ගැන තවදුරටත් තොරතුරු ලබාගැනීමට අවශ්‍ය නම් නීති ආධාර කොමිෂන් සභාව ,අංක 1295,මහාධිකරණ සංකීර්ණය,අළුත්කඩේ,කොළඔ 12. යන ලිපිනයට ලිවීමෙන් හෝ 0094-11-2433618, 0094-11-5335329, 0094-11-5335281, 0094-011-2395894 යන අංක වලට ඇමතීමෙන් තොරතුරු ලබාගත හැකිය.


--share කිරීම වැදගත්--

උපුටාගැනීමකි..
gossip9.com



Saturday, November 30, 2013

මේ දෙරණේ රියැලිටි ළමා අපචාර සහ අන්තර්ජාලය.........

දරුවන්ට ඔවුන්ගේ ළමා කාලය ළමා මනසක් සහිතව ගත කිරීමට ඉඩ ලබා දීම සඳහා ඔවුන් අන්තර්ජාල පරිහරණයෙන් වැළැක්වීම පිළිබඳව ඇමෙරිකානු බලධාරීන්ගේ දැඩි අවධානය යොමු වී ඇතැයි මෑතකදී වාර්තා විය. ඒ අමෙරිකාවේය. එම රටද එසේ සිතද්දී ලක් දෙරණේ සිදුවන්නේ කුමක්ද? ළමා තරු තෝරන රියැලිටි වැඩසටහන්  මගින් දරුවන්  අපචාරයේ යෙදවීමය.
මෙවැනි වැඩසටහනකින් දිනූ අවුරුදු තුන හමාරක දැරියක් ගායනා කළේ ‘චපල හිමිට සිරියහනේ රැවටෙන්නද මං’ (මඩේ ලගින තාරාවන්) ගීතයයි. ‘අක්ෂරය’ චිත්‍රපටයට එරෙහිව නීතිය හමුවට යාමට එක් හේතුවක් වූයේ එහි ළමා නළුවා මවගේ  නිරුවත දකින ජවනිකාවක්  ඇතැයි යන චෝදනාවයි. එසේ නම් ලිංගිකත්වය ඉස්මතු කරන ‘චපල හිමිට සිරි යහනේ’ ගීතය අවුරුදු තුන හමාරක දැරියක්  ලවා ගායනා කරවීම  ළමා අපචාරයක් නොවේ දැයි  විමසමින්  එකල ‘ඉරිදා ලක්බිම’ ට මා ලියූ ලිපියට බොහෝ තුතිබර ප්‍රතිචාර ලැබුණි. වැඩසටහන කළ ආයතනය පමණක් ‘ගොන් තර්ක’ ගෙනෙමින් ඊට එරෙහි විය. සැබැවින්ම දරුවන් වෙනුවෙන් පවතින කාර්යංශයක් හෝ පදනමක්  එදා ඔවුන්ට එරෙහිව නීතිය හමුවට ගියේ නම් එය එතැනින්ම නවතිනු ඇත. ප්‍රශ්න කළ මට පහර දී  මේ වන විට එය තවදුරටත්  ව්‍යාප්ත කර තිබේ. පසුගිය සතියේ  එම වැඩසටහන නැරඹූ මට (අවසන් භාගය පමණක්) දැක ගන්නට ලැබුණේ ‘නුඹේ සිතට පුන්සඳ පායලා වගේ’ යන ආදර ගීතය අවුරුදු අටෙන් පහළ දරුවෙකු ලවා ගායනා කරවූ අන්දමටය.
‘චපල හිමිට .....’ ගීතය ගයමින් එදා කුඩා දැරිය දැක්වූ  අභිනයන් අනුමත කළ දෙමාපියන් , ගුරුවරුන් ගැන මෙන්ම එය අගය කළ සංගීත ක්ෂේත්‍රයේ විනිසුරු මඩුල්ල ගැන කවර කතාද? නුඹේ සිතට...... ‘ ගැයූ දරුවා ගැනද එසේමය. එදා නැගුණු ආදර කැක්කුමක් ගැන ගායනා  නොකරවා එම දරුවා ලවා  ගයවන්නට ළමා ගීත කොපමණ මේ රටේ ඇද්ද? මෙහිදී බලධාරීන් නගන මෝඩ තර්කයක් වන්නේ ගායනයේ විවිධ පරාසවලට යාම සඳහා ශෘංගාර ගී සහ ප්‍රේම ගී දරුවන් ලවා ගායනා කරවන බවයි. අ¼ෙදා්මැයි ඒ සඳහා විවිධ පරාසවල ගැයෙන බුදු ගුණ ගී මව් ගුණ ගී පිය ගුණ ගී, දේශාභිමාන ගී ස්වභාව සෞන්දර්යය ගැන ගැයෙන ගී කොපමණක් (ළමා ගීතවලට අමතරව) මේ රටේ බිහි වී තිබේද? මොවුන්ට  ඒවායින් පලක් නැත. අවශ්‍ය වන්නේ මුදල් ගැරීම සඳහා ළමා මනස වැඩිහිටි කිරීමයි. විකෘති කිරීමයි. දරුවාට දරුවා ලෙස සිතන්නට සිටින්නට නොදීමද ළමා අපචාරයකි. දරුවෙකු දූෂණය කර වැඩිහිටි කිරීමද දරුවෙකු ලවා වැඩිහිටි ගීත ගායනා කරවා මනසින්  වැඩිහිටි  කිරීමද  එක සමාන අපරාධයන්ය.  ළමා පරපුරේ යහපත  උදෙසා ඇති ළමා හා කාන්තා කාර්යංශය පමා වී හෝ දැන්වත් නාලිකාවල විකාශය වන ළමා රියැලිටි වැඩසටහන්වල වැඩිහිටි ගීත ගායනා  කරවීමට එරෙහිව දැඩි පියවර ගත යුතුය. පසුගියදා පැවති ‘සුමති’ ටෙලි සම්මාන උළෙ‍ලේ දී  ‘සුමති’ ප්‍රකාශන අධිපති පාර්ලිමේන්තු මන්ත්‍රී තිලංග සුමතිපාල මහතා ළමා වයසේ පසු වන දරුවන්ට ළමා කාලය අහිමි වීම ගැන කනගාටු වෙන් කතා කළේය. ළමා රියැලිටි වැඩසටහන්  ගැන අප නගන මේ චෝදනා ගැනද එතුමා  වැනි අය හෝ  අවධානය යොමු කර බලධාරීන් දැනුවත්  කරන්නේ නම්  එය දරු පරපුරේ  සුරැකුමට හේතු වන්නේය.
මේ වැඩසටහන්  විනිශ්චය  කරන ප්‍රවීණ ගායක  ගායිකා සංගීතවේදීන් ගැන නම් කියලා වැඩක් නැත. අපූරුයි - අගෙයි - ෂෝක්  කියා එම ගායනයන්  වර්ණනා  කරන ඔවුහුද ළමා අපචාරයේ  හවුල්කරුවෝය. එදා ගුවන් විදුලියේ  සිරි අයියාගේ හෝ කරු අයියාගේ ළමා පිටිය වැඩසටහන්වලින් සිදු කෙරුණේ ළමා  ගීත මගින් ළමා ගායක  ගායිකාවන් බිහි කිරීමය. ඔවුන්  වැඩිහිටි වන තුරුම වැඩිහිටියන්ගේ ගීත ගයන්නට ඉඩ දුන්නේ නැත. මේ දෙරණේ  මුදල් තණ්හාව මත අද ඒ තත්ත්වය  කණපිට හරවා තිබේ. ශෘංගාරාත්මක ගී හා ප්‍රේම ගී ගායනා කරවා දරුවන් අපචාරයේ  යොදවා මුදල්  සොයන්නට උන්ට කිසි  ලැජ්ජාවක් නැත. දෙමාපියෝද අද උන්ගේ ගොදුරු  බවට පත්ව සිටිති.  වගකිව යුත්තන් නිහඬය. ළමා පරපුර වෙනුවෙන් මෑතදී බෝනික්කෝ නමින් විශිෂ්ට ප්‍රසංගයක් පැවැත්වූ විශාරද ගායිකා සංගීතවේදීනී නීලා වික්‍රමසිංහයන් මේ රියැලිටි ළමා අපචාරවලට එරෙහිව මාධ්‍ය මගින් හඬක් නගනු  අපි දුටුවෙමු. ඊට නීලාට සියලු ගෞරව හිමිවිය යුතුය. දරුවන් උදෙසා  කැපවූ වැඩසටහන්  කරන අතුල රන්සිරිලාල්  - නාලක ස්වර්ණතිලක රත්නා
පුෂ්පකුමාරි (ළමා කුසලතා සංවර්ධන පදනම) වැනි කීප දෙනාද මෙහිදී අමතක කළ නොහැකිය.
ඇමෙරිකාව දරුවන් රකින්නට දැඩි පියවර ගනිද්දී මේ දෙරණේ දරුවෝ රියැලිටි අපචාරයේ යොදවනු ලැබෙති. මේ මාධ්‍ය දුරාචාරයට එරෙහිව දැන්වත් අදාළ බලධාරීන් පියවර නොගන්නේ නම් රට පුරා සිදුවන ළමා අපචාර  ගැන කතා කිරීමේ ද තේරුමක් නැත. මේ සම්බන්ධ කතාබහකදී මගේ මිතුරෙකු දැක්වූ අදහස ගීතයකට කැටි කළ හොත්  එය මෙසේය.
“දරු පරපුර රැක ගන්නට වෙහෙස වෙන්නෙ මොන රටේද
ඇමෙරිකාවේ ඇමෙරිකාවේ ........
ඇමෙරිකාවෙ එහෙම වුණත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ
මේ දෙරණේ රියැලිටි නම් ඉවර වෙන්නෙ නෑ
දරු පරපුර වනසන එක නතර වෙන්නෙ නෑ”

Friday, July 19, 2013

ඇමරිකානු වෛද්‍ය සංගමයේ නවතම පර්යේෂණයක ප්‍රතිඵල මෙන්න:


ඇමරිකානු වෛද්‍ය සංගමයේ නවතම පර්යේෂණයක ප්‍රතිඵල මෙන්න:

මාංශමය ආහාර හා ශාකමය ආහාර පරිභෝජනය පිළිබඳ අද වන විට ලොව පුරා ඇත්තේ විවිධ මතයන් ය. ඇතැමෙක් ආගමික පදනම මත හිඳිමින් මාංශ ආහාරයෙන් වැළකී සිටිති. තවත් අය ආගමික පදනමට වඩා අවිහිංසක සතුන්ගේ ජීවිත හානිය පිළිබඳ සිතා එයින් වැළකෙති. තවකකු මිනිසා සේම අන් සියලු සතුන්ට ද මිහිමත නිදහසේ ජීවත්වීමට ඇති අයිතිය සලකමින් මාංශ ආහාරයෙන් වැළකී සිටින අතර තවත් පිරිසක් සෞඛ්‍යමය තත්ත්වයන් පිළිබඳ සලකා බලමින් මාංශයෙන් වැළකී ශාකමය ආහාර කෙරෙහි වැඩි නැඹුරුවක් දක්වමින් සිටිති. කෙසේ මුත් විවිධ වෛද්‍ය පර්යේෂණවලින් ද ශාකමය ආහාරවල ඇති සෞඛ්‍ය සම්පන්න බව පිළිබඳ විවිධ කාරණා හෙළිවෙමින් පවතී.

මේ පිළිබඳ ඉතාමත් මෑතකදී ඇමෙරිකානු වෛද්‍ය සංගමය පර්යේෂණයක් පවත්වා තිබිණි. Dietary Patterns and Mortality නම් වූ ඔවුන්ගේ මෙම පර්යේෂණයේ අපේක්ෂාව වූයේ ශාකමය ආහාර පරිභෝජනය සහ මිනිසුන්ගේ මරණ ප්‍රමාණය අතර සම්බන්ධයක් ඇත්දැයි සොයා බැලීමය. මෙහි මරණ ප්‍රමාණය යනුවෙන් හඳුන්වනු ලබන්නේ පුද්ගලයන් 1000කට මිනිසුන් කී දෙනෙක් මරණයට පත්වන්නේදැයි යන්න අනුපාතිකව සොයා බැලීමය. කෙටියෙන් පවසතොත් මරණ අනුපාතයයි. ශාකමය ආහාර ගැනීමේදී මිනිසුන් මරණයට පත්වීමේ අනුපාතය අඩු බව තහවුරු කිරීම සඳහා මෙම පර්යේෂණය දියත් කරනු ලැබිණි. මේ සඳහා ඇමෙරිකා එක්සත් ජනපදයේ ඉහළ පෙළේ වෛද්‍ය පර්යේෂකයන් ගණනාවකගේම සහභාගිත්වය හිමි වී තිබිණ.

මෙම පර්යේෂණය සඳහා 73,308 දෙනකු සහභාගී කරවාගනු ලැබූ අතර 2002 දී ආරම්භ කරන ලද මෙය 2007 දී අවසන් කෙරිණි. නමුත් මේ සඳහා ගත කළ කාලය වසර 5.79ක් ලෙස ඔවුන් සඳහන් කොට තිබිණි. මේ සහභාගී වූවන් අතර ආහාර පරිභෝජන රටා පහක් දක්නට ලැබිණි. ඒවා නම් මෙසේය.

1.
ශාකමය ආහාර පරිභෝජනය නොකරන..!

2.
අර්ධ වශයෙන් ශාකමය ආහාර පරිභෝජනය කරන..!

3.
ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන..!

4.
ශාකමය - කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන vegetarian1..!

5.
සම්පූර්ණයෙන්ම ශාකමය ආහාර පමණක් පරිභෝජනය කරන පිරිස් වශයෙනි..!

පර්යේෂණය අවසන් වන විට මෙයට සහභාගි වූ 73,308 දෙනාගෙන් 2570ක් මියගොස් තිබිණි.

මේ අනුව සාමාන්‍ය මරණ අනුපාතය වරසකට මිනිසුන් 1000කට 6.05ක් විය.

ශාකමය ආහාර පරිභෝජනය නොකරන පිරිසට සාපේක්ෂව ශාකමය ආහාර පරිභෝජනය කරන පිරිසගේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.88ක් විය.

ශාකමය ආහාර පමණක් ගන්නා පිරිසගේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.85ක් විය.

ශාකමය කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන පිරිසේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.91ක් විය.

ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන පිරිසේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.81ක් විය.

ශාකමය ආහාර නොගන්නා පිරිසට සාපේක්ෂව අර්ධ වශයෙන් ශාකමය ආහාර ගන්නා පිරිසේ මරණ අනුපාතය මිනිසුන් 1000කට වසරකට 0.92ක් විය.

මෙම පර්යේෂණය සඳහා විවිධ ආහාර වර්ග 200කට අධික ප්‍රමාණයක් සැලකිල්ලට ගෙන තිබිණි. මෙයට සහභාගී වූ පුද්ගලයන් 71,308 දෙනාගෙන් 55548 (7.6) ක් ශාකමය ආහාර පමණක් පරිභෝජනය කරන්නන් විය. 21,177 (28.9) ශාකමය - කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන්නන් විය. 7,194 (9. ක් ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන් විය. 4,031 (5.5) ක් අර්ධ වශයෙන් ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් වූ අතර 35,359 ක් හෙවත් මුළු සහභාගි වූවන්ගෙන් 48.2ක් හෙවත් මුළු සහභාගි වූවන්ගෙන් 48.2ක් ශාකමය ආහාර පරිභෝජනය නොකරන්නවුන් විය.

මෙහිදී හෙළි වූ තවත් කරුණක් වූයේ ශාකමය ආහාර පරිභෝජනය කරන්නන්ගේ බහුතරයක් වයසින් වැඩි පුද්ගලයන් වූ බවය. ඔවුහු උසස් අධ්‍යාපනයකට හිමිකම් තිබූ අය වූහ. බොහෝ දෙනකු විවාහකයන් වූ අතර දුම්වැටි හෝ මත් වතුර පානය නොකරන්නන් විය. වැඩි වශයෙන් ව්‍යායාමවල නිරත වූ ඔවුහු සිහින් සිරුර ඇත්තෝ ද වූහ. ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන්ගේ බහුතරයක් කළු ජාතිකයෝ වූහ.

මෙම පර්යේෂණයේ නිගමනය වූයේ සියලුම ආකාරයේ මරණ අනුපාතිකවලින් අඩුම ප්‍රමාණය ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් අතර පවතින බවය. ඇතැම් මරණ අනුපාතික තත්ත්වයන් අඩුකරන්නටද ශාකමය ආහාර පරිභෝජනය හේතුවන බැව් තහවුරු විය.

මෙයට පෙර කරන ලද පර්යේෂණවලින් ද මරණ අනුපාතිකය සහ ආහාර පරිභෝජන රටා අතර පැහැදිලි සම්බන්ධතාවයක් ඇති බැව් තහවුරු වී තිබිණි. ධාන්‍ය, පලතුරු, කිරි ආහාර වර්ග, කෙඳි සහිත ආහාර ආදිය පරිභෝජනය කිරීම තුළින් මරණ ප්‍රමාණය හෙවත් මරණ අනුපාතිකය අඩුවන බැව් නිරීක්ෂණය විය. නමුත් රතු මස්, සකසන ලද මස්, බිත්තර ආදිය වැඩි වශයෙන් පරිභෝජනයට ගැනීම නිසා මරණ ප්‍රමාණය වැඩිවන්නට හේතුවන බව පැවසේ.

මෙහි ප්‍රතිඵලවලට අනුව ශාකමය ආහාර පරිභෝජනය කරන්නන්ගේ මරණ අනුපාතය එසේ නොවන පුද්ගලයන්ට වඩා බෙහෙවින් අඩුය. එමෙන්ම ශාකමය ආහාර සමග මත්ස්‍ය හා මුහුදු ආහාර පරිභෝජනය කරන්නන්ගේ හා ශාකමය - කිරි හා බිත්තර සහිත ආහාර පරිභෝජනය කරන්නන්ගේ මරණ අනුපාතය ශාකමය ආහාර නොගන්නා පුද්ගලයන්ට වඩා අඩු බැව් ද තහවුරු විය. ශාකමය ආහාර පරිභෝජනය කරන්නන් තුළ හෘදයාබාධ හා පිළිකා ඇතිවීමේ ප්‍රවණතාවය ද ඉතා අඩු බැව් මෙහිදී හෙළි විය. ශාකමය ආහාරවල වැඩි වශයෙන් කෙඳි අඩංගුවීම සෞඛ්‍ය සම්පන්න තත්ත්වයකට මහඟු අත්වැලක් සපයා ඇති බැව් මෙයින් පැහැදිලි වී තිබේ. එමෙන්ම දියවැඩියා රෝගය සහිත පුද්ගලයන්ගේ රෝගී තත්ත්වය අඩුකිරීමට ශාකමය ආහාර පරිභෝජනය හේතු වී ඇති බැව් මෙම පර්යේෂණය මගින් හෙළිවූ තවත් දෙයක් විය.

ශාකමය ආහාර පමණක් පරිභෝජනය කිරීම පිළිබඳ විවිධ මතවාද තිබුණද මෙම පර්යේෂණයෙන් හෙළි වූ කරුණුවලින් පැවැසිය හැක්කේ සෞඛ්‍ය සම්පන්න ජීවිතයකට ශාකමය ආහාර මගින් මහඟු පිටිවහලක් ලබාදෙන බව ය.

~
නිරංජන් චාමින්ද කරුණාතිලක~

[
උපුටාගැනීම ලක්බිම පුවත්පතිනි]